උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය

ඔබට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇත්නම්, සාමාන්‍යයෙන් ඔබේ උණ්ඩුකපුච්ඡය හැකි ඉක්මනින් ඉවත් කිරීමට සිදු විය හැකියි. මෙම ශල්‍යකර්මය ඇපෙන්ඩිසෙක්ටමි (appendicectomy) හෝ ඇපෙන්ඩෙක්ටමි (appendectomy) ලෙස හැඳින්වෙයි. ඔබට උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය පැවතීමට ඉඩ ඇති නමුත් පැහැදිලි රෝග විනිශ්චයක් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථා වලදීද එම ශල්‍යකර්මය බොහෝ විට නිර්දේශ කරනු ලබයි. ඒ උණ්ඩුකපුච්ඡය පැලී යාමේ අවදානම ගැනීමට වඩා එය ඉවත් කිරීම වඩාත් ආරක්ෂාකාරී බව සැලකෙන නිසයි. මිනිසුන්ගේ, උණ්ඩුකපුච්ඡය කිසිදු වැදගත් කාර්යයක් ඉටු නොකරන අතර එය ඉවත් කිරීම කිසිදු දීර්ඝ කාලීන ගැටලුවකට හේතු නොවෙයි.

ඇපෙන්ඩිසෙක්ටමි (ඇපෙන්ඩෙක්ටමි)

උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීම සම්පූර්ණ නිර්වින්දන තත්ත්ව යටතේ කී හෝල් (keyhole) හෝ විවෘත සැත්කමකින් සිදු කරනු ලබයි. කී හෝල් (Keyhole) සැත්කම් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වීමට ගත වන කාලය විවෘත සැත්කම් වලට වඩා අඩු වීමේ ප්‍රවණතාව නිසා (Keyhole) සැත්කම් (ලැපරොස්කොපි) උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩිපුර භාවිතා කරන ක්‍රමය වේ. මෙම ශල්‍යකර්මය සදහා ඔබේ බඩේ (උදරයේ) කැපුම් 3ක් හෝ 4ක් සිදු කරනු ලැබේ. ඒ ආධාරයෙන් විශේෂ උපකරණ ඇතුල් කරනු ලැබේ, ඒවා නම්:

  • ඔබේ උදරය වායු මගින් පිම්බීම සදහා නලයක් - මෙමගින් ශල්‍ය වෛද්‍යවරයාට ඔබේ උණ්ඩුකපුච්ඡය වඩා පැහැදිලිව දැකගැනීමට හා ඔවුන්ගේ කාර්යයන් පහසුවෙන් කරගැනීමට ඉඩ ලබාදීම සිදු කෙරේ
  • ලැපරොස්කෝප් එකක් (laparoscope) - විදුලි බල්බයක් හා කැමරාවක් සහිත කුඩා නලයකි, මෙමගින් උදරය තුළ දර්ශන රූපවාහිනී තිරයක් වෙතට යොමු කෙරේ
  • උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීම සඳහා කුඩා ශල්‍ය උපාංග

ඔබේ උණ්ඩුකපුච්ඡය ඉවත් කරනු ලැබීමෙන් අනතුරුව, දියවෙන සුළු මැහුම් කැපුම් වැසීම සඳහා යොදනු ඇත. සාමන්‍ය මැහුම් යොදනු ලැබුවොත්, ඔබේ ශල්‍ය වෛද්‍යවරයා ඒවා දින 7-10 අතර කාලයකදී ඉවත් කරනු ඇත. විවෘත සැත්කම් සමහර අවස්ථාවලදී, keyhole සැත්කම් නිර්දේශ නොකෙරෙන අතර ඒ වෙනුවට විවෘත සැත්කම් සිදු කරනු ලැබේ. ඒවා නම්:

  • උණ්ඩුකපුච්ඡය ඒ වන විටත් පැලී ගොස් ඇපෙන්ඩික්ස් මාස් (appendix mass) යනුවෙන් හැඳින්වෙන ගෙඩියක් සෑදී තිබුණොත්
  • ලැපරොස්කොපි ක්‍රමයෙන් ඉවත් කිරීමට ශල්‍ය වෛද්‍යවරයාට පළපුරුද්ද ප්‍රමාණවත් නොවන විට
  • මීට පෙර විවෘත උදර සැත්කම් වලට බඳුන් වී ඇති අයට

විවෘත සැත්කමකදී, උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීම සඳහා උදරයේ පහළ දකුණු පස යොදන වඩා විශාල වූ තනි කැපුමක් යොදනු ලැබේ. උදරයේ ඇතුළු ආස්තරණය පූරා පැතිරුණු ආසාදනයක් ඇති අවස්ථාවලදී (උදරච්ඡද ප්‍රදාහය - peritonitis), උදරයේ මැද දිගේ යොදන ලද කැපුමක් ආධාරයෙන් ශල්‍යකර්මය සිදු කිරීම සමහර විට අවශ්‍ය වේ. මෙම ක්‍රියාවලිය ලැපරොටොමි ලෙස හැඳින්වෙයි. කී හෝල් (Keyhole) සැත්කම් වලදී මෙන්ම, කැපුම් වැසීම දියවෙන සුළු මැහුම් හෝ පසු දිනයකදී ඉවත් කිරීමට අවශ්‍ය වන සාමාන්‍ය මැහුම් ආධාරයෙන් සිදු කරනු ලැබේ. දෙයාකාරයේම ශල්‍යකර්ම වලින් පසුව ඉවත් කරන ලද උණ්ඩුකපුච්ඡයන්, පිළිකාවක ලක්ෂණ තිබේදැයි බැලීම සඳහා විද්‍යාගාරයක් වෙත යවනු ලැබේ. මෙය ආරක්ෂිත පියවරක් වන අතර බරපතල ගැටලුවක් සොයා ගැනීම දුලබ කාරණයකි.

යථා තත්ත්වයට පත්වීම

කී හෝල් (Keyhole) සැත්කම් වල එක් ප්‍රධාන වාසියක් වන්නේ යථා තත්ත්වයට පත් වීමට ගත වන කාලය කෙටි වීම වන අතර බොහෝ අයට ශල්‍යකර්මයෙන් දින කිහිපයකට පසුව රෝහලෙන් පිටව යා හැක. එම ක්‍රියාවලිය ක්ෂණිකව සිදු කෙරුණි නම්, ඔබට පැය 24ක් ඇතුළත ගෙදර යාමට පුලුවන් විය හැක. විවෘත හෝ සංකීර්ණ ශල්‍යකර්මයකදී (උදාහරණයක් ලෙස, ඔබට උදරච්ඡද ප්‍රදාහය ඇත්නම්) ඔබට ගෙදර යාමට තරම් සුව වීමට සතියක් දක්වා කාලයක් ගත විය හැක. ශල්‍යකර්මයෙන් පසුව පළමු දින කිහිපය තුළ, ඔබට යම් වේදනාවක් හා තැලුම් ගතියක් පැවතිය හැක. මෙය කාලයත් සමග සමනය වී යන අතර, නමුත් ඔබට අවශ්‍ය නම් වේදනානාශක ලබා ගත හැක. ඔබ කී හෝල් (keyhole) සැත්කමකට භාජනය වූයේ නම්, සතියක් පමණ ගත වන තෙක් ඔබේ උරහිසේ කෙළවර වේදනාවක් පැවතිය හැක. මෙය ඇතිවන්නේ සැත්කම අතරතුරදී ඔබේ උදරයට ඇතුළු කරන ලද වායු ප්‍රමාණය නිසාය. සැත්කමෙන් පසු කෙටි කාලීනව ඔබට මල බද්ධයද පැවතිය හැක. මෙය සමනය කිරීමට උපකාරී වීම සඳහා, කෝඩේන් (Codeine) වේදනානාශක ගැනීමෙන් වැළකීම, බහුල ලෙස තන්තු ආහාරයට ගැනීම, හා දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම සිදු කරන්න. මෙම ගැටලුව කරදරකාරී නම් ඔබේ වෛද්‍යවරයා ඖෂධ නියම කිරීමට පුළුවන. රෝහලෙන් පිටව යාමට පෙර, ඔබට ඔබේ තුවාලයට සාත්තු කළයුතු ආකාරය හා ඔබ විසින් වැළකිය යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙනු ඇත. ඔබට සති කිහිපයකදී නැවත සාමාන්‍ය කටයුතු වල නිරත වීමට පුළුවන් විය හැකි වුවත්, විවෘත සැත්කමකින් පසුව සති 4-6 දක්වා කාලයක් ගත වන තෙක් වෙහෙසකර ක්‍රියාකාරකම් වලින් වැළකීමට සිදු විය හැක. ඔබේ ශල්‍ය වෛද්‍යවරයා මෙය ඔබ සමග සාකච්ඡා කළ යුතුය. වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා ඔබ යථා තත්ත්වයට පත් වන කාලයේදී ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් වල ලකුණු පිළිබඳ විමසිල්ලෙන් සිටීම වැදගත්ය. පහත අවස්ථාවලදී රෝහල හෝ ඔබේ වෛද්‍යවරයා අමතන්න:

  • ඉදිමීම හා වේදනාව වැඩි වූ විට
  • නැවත නැවතත් වමනය කිරීම ආරම්භ වුවහොත්
  • ඔබට තද උණක් ඇති වුවහොත්
  • තුවාලයෙන් දියරයක් ගලා ආවොත්
  • තුවාලය ස්පර්ශයේදී උණුසුම් බව දැනුණොත්

මෙම රෝග ලක්ෂණ ආසාදනයක ලකුණු විය හැක.

අවදානම් තත්ත්ව

උණ්ඩුකපුච්ඡය ඉවත් කිරීමේ සැත්කම ඉතාම සුලබ සැත්කම් වලින් එකක් වන අතර, බරපතල හෝ දීර්ඝකාලීන සංකූලතා දුර්ලභය. නමුත් සෑම ආකාරයකම සැත්කම් වලදී මෙන්ම, පහත ආකාරයේ අවදානම් තත්ත්ව කීපයක් ඇත:

  • තුවාලය ආසාදනය වීම - උග්‍ර ආසාදනවල අවදානම අවම කිරීමට ශල්‍යකර්මයට පෙර, එය අතරතුර හා ඉන් පසුව ප්‍රතිජීවක ලබා දී තිබියදීත්
  • සම යට රුධිර වහනයක් සිදු වීම නිසා තද ගතියෙන් යුතු ඉදිමුමක් (haematoma තත්ත්වයක්) ඇති වීම - මෙය සාමාන්‍යයෙන් ඉබේම සමනය වන අතර, නමුත් ඔබට අවශ්‍ය යැයි සිතේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න
  • කැළැල් ඇතිවීම - දෙවර්ගයේම ශල්‍යකර්ම සඳහා කැපුම් සිදු කරන ස්ථානවල යම් කැළලක් ඉතිරි වනු ඇත
  • සැරව එකතුවක් (සැරව ගෙඩි) - කලාතුරකින්, උණ්ඩුකපුච්ඡය පැලී යාම හේතුවෙන් ඇතිවූ ආසාදනයක් නිසා ශල්‍යකර්මයෙන් පසුව සැරව ගෙඩි ඇති විය හැකිය
  • හර්නියා තත්ත්ව - විවෘත සැත්කමේ කැපුම් ස්ථානයේ හෝ කී හෝල් (keyhole) සැත්කමේ කැපුම් සිදු කළ ස්ථාන වල

මුළු සිරුරම නිර්වින්දනය කිරීම සඳහා භාවිත කරන ඖෂධද, ආසාත්මික ප්‍රතිචාර හා ආමාශගත ද්‍රව්‍ය ආශ්වාසය නිසා නියුමෝනියාව ඇති වීම ආදී අවදානම් වලින් යුක්තය. නමුත් මෙවැනි බරපතල සංකූලතා ඉතා දුර්ලභය.

හදිසි ශල්‍යකර්මය වෙනුවට විකල්ප

සමහර අවස්ථාවලදී, උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය හේතුවෙන් උණ්ඩුකපුච්ඡය මත ඇපෙන්ඩික්ස් මාස් (appendix mass)ලෙස හැඳින්වෙන ගෙඩියක් සෑදිය හැක. මෙම ගෙඩිය උණ්ඩුකපුච්ඡය හා මේද පටකයෙන් සමන්විත වන අතර, ශරීරය මගින් තමන්ම ගැටලුව විසඳාගැනීමට හා සුව කිරීමට උත්සාහ කරන ක්‍රමයකි. පරීක්ෂා කිරීමේදී ඇපෙන්ඩික්ස් මාස් එකක් හමු වුවහොත්, ඔබේ වෛද්‍යවරයා සමහර විට එය වහාම සැත්කමකට භාජනය කිරීම අනවශ්‍ය බව තීරණය කළ හැක. ඒ වෙනුවට, ඔබට සුදුසු ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාවක් හා සති කිහිපයකින් පසු, ගෙඩිය සමනය වූ පසු දිනයක් ශල්‍යකර්මය සඳහා ලබා දෙනු ඇත. ශල්‍යකර්මයට විකල්පයක් ලෙස ප්‍රතිජීවක මගින් පමණක් උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය සුව කළ හැකි බවට ප්‍රමාණවත් පැහැදිලි සාක්ෂි නොමැත.